AGENDA 14 SHORT FILMS FESTIVAL 2014 | SCHEDULE

Schedule

සිව්වන වරටත් අඛණ්ඩව පවත්වනු ලබන ඇජෙන්ඩා 14 කෙටි චිත‍්‍රපට උළෙල, දෙසැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

යුරෝපා සිනමා ඇකඩමියේ හොඳම කෙටි චිත‍්‍රපටය සඳහා වූ සම්මානයට නිර්දේශ වූ කෙටි චිත‍්‍රපටය ප්‍රදර්ශනයකින් දෙසැම්බර් 12 වෙනි දින සවස 4.30ට කෙටි චිත‍්‍රපට උළෙල ආරම්භ වීමට නියමිතය.

දෙසැම්බර් 13 වෙනි දින උදෑසන 9.30 සිට උළෙලේ තරඟකාරී අංශයට ඉදිරිපත් කර අවසාන වටයට තෝරා ගනු ලැබූ කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය වේ.

එදින සවස 2.30 සිට 5.30 දක්වා සිනමා විචාරක දීප්ති කුමාර ගුණරත්න විසින් මෙහෙයවනු ලබන Masterclass වැඩසටහන පැවැත්වෙන අතර මෙවර Masterclass හි මාතෘකාව වනුයේ Beyond Significance  – The Gaze & The Voice වේ. සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් මෙම වැඩසටහනට සහභාගිවීම සඳහා  info.agenda14@gmail.com යන ලිපිනයට අයදුම්පතක් එවිය යුතුය.

Masterclass වැඩසටහනෙන් අනතුරුව එදින සවසවරුවේ යුරෝපා සිනමා ඇකඩමි චිත‍්‍රපට උළෙලේ තෝරා ගත් කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කෙරෙනු ඇත.

උළෙලේ අවසාන දිනය වන දෙසැම්බර් 14 දා උදෑසන දාරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) විසින් reimagining development ව්‍යාපෘතිය යටතේ අනුග‍්‍රහය දැක්වීමෙන් බිහි වූ කෙටි චිත‍්‍රපට නිර්මාණ ප‍්‍රදර්ශනය කෙරෙන අතර එය අවසානයේ සංවාදයක් පැවැත්වීමට නියමිතය.

එදින සවස්භාගයේ ඇජෙන්ඩා 14 කෙටි චිත‍්‍රපට උළෙලේ අවසාන වටයට තෝරා ගත් කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කෙරෙන අතර, 2014 ඇජෙන්ඩා 14 කෙටි චිත‍්‍රපට උළෙල සමාප්ත වනු ලබන්නේ මෙවර කාන්ස් ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේ Short film corner සඳහා තෝරා ගනු ලැබූ බිමල් දුෂ්මන්ත්ගේ ‘කර්ම භූමි’ කෙටි චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයෙනි.

දෙසැම්බර් 14 වෙනි දින සවස 6.30 ට උළෙලේ ජයග‍්‍රහණය ලැබූ කෙටි චිත‍්‍රපටකරුවන් ඇගයීමේ සම්මාන උළෙල පැවැත්වීමට නියමිත අතර මෙවර සම්මාන ප‍්‍රදානය කෙරෙන්නේ පහත ආකාරයටය.

  • වසරේ හොඳම කෙටි චිත‍්‍රපටය
  • ජුරි සම්මානය
  • කුසලතා සපිරි සිනමාකරුවා ( මෙම සම්මානය පිරිනැමෙන්නේ වයස අවුරුදු 24 ට අඩු තරුණ සිනමාකරුවෙකුටය.)
  • සුනිලා අබේසේකර අනුස්මරණ මානව හිමිකම් සම්මානය
  • සමාජීය ස්ත‍්‍රී පුරුෂ භාවී කෙටි චිත‍්‍රපටය
  • හොඳම සජීවීකෘත කෙටි චිත‍්‍රපටය
Submit your comment

Please enter your name

Your name is required

Please enter a valid email address

An email address is required

Please enter your message

AGENDA 14 © 2017 All Rights Reserved

Designed by WPSHOWER

Powered by WordPress